ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වී ඇති ලංසු මිල ගණන්, ඉන්දීය රජය පොරොන්දු වූ මූල්‍ය ආධාර මුදල මෙන් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
සන්ඩේ ටයිම්ස් වාර්තා කරන පරිදි, ව්‍යාපෘතියේ ප්‍රධාන පද්ධති ඒකාබද්ධ කරන්නා (Master System Integrator) ලෙස කටයුතු කිරීමට ඉන්දීය සමාගම් පහක් සුදුසුකම් ලබා ඇති අතර, ඔවුන්ගෙන් ලැබී ඇති ඉහළම ලංසුව ඉන්දීය රුපියල් බිලියන 7ක් (රුපියල් බිලියන 24.6ක්) පමණ වේ. කෙසේ වෙතත්, ඉන්දීය රජය මෙම ව්‍යාපෘතිය සඳහා ලබා දීමට එකඟ වී ඇත්තේ ඉන්දීය රුපියල් බිලියන 3ක (රුපියල් බිලියන 10.5ක) ආධාර මුදලක් පමණි.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩිජිටල් තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා තහවුරු කළේ, ඉදිරිපත් වී ඇති ලංසු මිල ගණන් අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් ඉහළ බවයි. ඉදිරි පියවර පිළිබඳව තීරණය කිරීම සඳහා ඉන්දීය බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර ඇත.
ජනාධිපති ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක හාන්ස් විජයසූරිය මහතා ප්‍රකාශ කළේ, ලංසු මිල ආධාර මුදල ඉක්මවා ගියහොත් දෙපාර්ශවය සාකච්ඡා කර තීරණයකට එළඹිය යුතු බවට දෙරට අතර ඇති අවබෝධතා ගිවිසුමේ ප්‍රතිපාදන පවතින බවයි. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඇගයීම් කටයුතු තවමත් සිදුවෙමින් පවතින බැවින් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
මෙම ව්‍යාපෘතිය යටතේ දත්ත මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීම, මෘදුකාංග පද්ධති සකස් කිරීම සහ දිවයින පුරා ජෛවමිතික ලියාපදිංචි කට්ටල 900ක් ස්ථාපිත කිරීම සිදු කිරීමට නියමිතය.
















