ශාරීරික සීමාවන් තම අධ්‍යාපන සිහිනවලට බාධාවක් කර නොගත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ‘සරසවි දිරියෝ අභිමන්’ නව වැඩසටහන ආරම්භ කර තිබේ. මෙම වැඩසටහනේ අරමුණ, ප්රතිලාභ සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සමඟ කළ සාකච්ඡාවේ සාරාංශය පහත දැක්වේ.
ආබාධ සහිත දරුවෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබීම විශේෂ කරුණක් ලෙස සලකා, ඔවුන් තම ආබාධිත තත්ත්වය හෝ වෙනත් කරුණු මත වෙනස්කම්වලට හෝ පසුගාමී නොවී සමාජයේ ඉදිරියට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ජනාධිපති අරමුදලේ අභිප්‍රායයි. මෙම වැඩසටහන යටතේ දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සියලුම සිසුන් ඇගයීමට ලක් කෙරේ.
සාමාන්‍ය සිසුන්ට වඩා ආබාධ සහිත සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමේදී ප්‍රවාහන පහසුකම්, නේවාසිකාගාර ගැටලු, සුවිශේෂී උපකරණ භාවිතය වැනි අමතර අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. ඔවුන්ගේ බොහෝ කටයුතු වෙනුවෙන් අනෙක් සිසුන්ට වඩා වැඩි කාලයක් සහ මුදලක් වැය කිරීමට සිදුවන බව ජනාධිපති අරමුදල නිරීක්ෂණය කර ඇත.
මෙම වැඩසටහනේ මූලික අදියර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී සිසුන් 254 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණු අතර, සුදුසුකම් ලැබූ සෙසු සිසුන් වෙනුවෙන් උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි අගෝස්තු මාසයේදී තවත් වැඩසටහන් පැවැත්වීමට නියමිතය. මෙම සිසුන් වෙනුවෙන් එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් ලක්ෂයක ශිෂ්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අරමුදල කටයුතු කර ඇත.
මේ සඳහා සිසුන් තනි තනිව අයදුම්පත් යොමු කිරීමේ අවශ්‍යතාවක් නොමැත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ අදාළ විශ්වවිද්‍යාලවලින් තහවුරු කරන ලද දත්ත පදනම් කරගනිමින් ප්‍රතිලාභීන් තෝරා ගනු ලැබේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම සහ අධ්‍යාපනය ලැබීම හැර වෙනත් කිසිදු ආදායම් මට්ටමක් හෝ වෙනත් නිර්ණායකයක් මෙයට අදාළ නොවේ.
පසුගිය වසරවලට සාපේක්ෂව ජනාධිපති අරමුදල වෙත අයදුම්පත් ලැබීමේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබේ. උතුරු පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක අයදුම්පත් ලැබීම විශාල ලෙස ඉහළ ගොස් ඇත.බේ.
















