ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලයක් වසා තබා තිබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අද (13) සිට යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය වසන්ත කුමාර මහතා මේ බව තහවුරු කළේය.
මෙම විශ්වවිද්‍යාල පරිශ්‍රය පිරිසිදු කිරීම සහ ධූමායනය කිරීමේ වැඩසටහන් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ත්‍රිවිධ හමුදාවේ සහ කොළඹ මහ නගර සභාවේ දායකත්වයෙන් ඊයේ (12) සිදු කෙරිණි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය දැනටමත් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කරයි. විද්‍යා පීඨය සම්බන්ධයෙන් තීරණයක් අද (13) දිනයේ ප්‍රකාශයට පත් කෙරේ. ඩෙංගු ආසාදිත සිසුන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙම මස 07 වනදා වසා දැමූ මොරටුව විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට නියමිතව ඇත්තේ මෙම මස 21 වනදාය. දැනට රට පුරා විශ්වවිද්‍යාල 17ක් ක්‍රියාත්මක වන අතර, ඉන් සෙසු විශ්වවිද්‍යාල වසා දැමීමේ අවශ්‍යතාවක් මතු වී නොමැත. අවශ්‍යතාව මත ඕනෑම අවස්ථාවක මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදු කිරීමට පාලනාධිකාරිය තීරණ ගනු ඇත.
















