මහා භාණ්ඩාගාරයේ භාවිත කෙරෙන ඊමේල් පද්ධතිය 2019 වසරේ සිට යල්පැනගිය එකක් බවත්, එම පද්ධතිය අතිශය අනාරක්ෂිත තත්ත්වයක පවතින බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයකට ලැබීම සම්බන්ධයෙන් පැවැති විමර්ශනයකදී මෙම කරුණු අනාවරණය විය.
භාණ්ඩාගාරය භාවිත කරන්නේ 2019 වසරේදී අවසන් (End of Life) වූ ‘Microsoft Exchange 2019’ සර්වර් පද්ධතියකි. යල්පැනගිය මෘදුකාංග සඳහා නව ආරක්ෂිත යාවත්කාලීන කිරීම් නොලැබෙන නිසා ඕනෑම අයෙකුට මෙම පද්ධතියට රිංගා ගැනීමට (Hack කිරීමට) හැකියාවක් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන් තහවුරු කළහ.
රාජ්‍ය ආයතනවල සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සහ අනතුරු ඇඟවීම් වරින් වර ලබා දී ඇතත්, මුදල් අමාත්‍යාංශය මෙම අවදානම් තත්ත්වය මඟහරවා ගැනීමට නිසි පියවර ගෙන නොමැත. අදාළ අංශ ප්‍රධානීන්ගේ සම්බන්ධීකරණයේ පවතින දුර්වලතා මෙයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මුදල යළි ලබා ගැනීමට නොහැකි වුවහොත්, එම ණය වාරිකය නැවත ගෙවීමට රාජ්‍ය මුදල් (මහජන බදු මුදල්) භාවිත කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ, මෙතරම් ඉහළ වටිනාකමකින් යුත් ගනුදෙනු සිදු කෙරෙන රාජ්‍ය ආයතනයක පද්ධති මෙතරම් අනාරක්ෂිතව පවත්වාගෙන යාම දැඩි ලෙස ගැටලු සහගත බවයි. මෙවැනි සයිබර් අවදානම් හමුවේ රජයේ මුදල් අමාත්‍යාංශය මෙතරම් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම බරපතල තත්ත්වයක් බවත්, මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් දැඩි ලෙස විමර්ශනය කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















