වත්මන් ආණ්ඩුව ගොවි ජනතාව ආරක්ෂා කරන ආණ්ඩුවක් බවත්, ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, සමාජ වටිනාකමක් හා ගෞරවයක් හිමිකර දීම රජයේ අරමුණ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. පසුගිය දා අනුරාධපුරයේ පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ගොවි ජනතාවට වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රතිපාදන වෙන් කළේ වත්මන් රජය විසිනි. පසුගිය යල කන්නය, මහ කන්නය සහ මෙවර යල කන්නය සඳහා වී මිලදී ගැනීමට රුපියල් දස ලක්ෂ විසි දෙදහසක මුදලක් වෙන් කර ඇත. එමෙන්ම, වගා හානි වූ ගොවීන් සඳහා ඉතිහාසයේ වැඩිම වන්දි මුදලක් ද ලබා දී තිබේ.
දශක ගණනාවක් සාකච්ඡා වූ මල්වතු ඔය ව්‍යාපෘතිය ලබන වසරේ ආරම්භ කෙරේ. උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර මහකනදරා වැව දක්වා ජලය ගෙන යාමට සැලසුම් කර තිබේ.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සඳහා පියවර ගෙන ඇත. ලබන වසරේ සිට 06 වැනි ශ්‍රේණියේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරේ. පාසල් පද්ධතිය නවීකරණයට සහ විශ්වවිද්‍යාල නේවාසිකාගාර ගැටලු විසඳීමට පියවර ගෙන ඇත. 2032 වන විට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් විවෘත කිරීමට සැලසුම් කර තිබේ.
රෝගීන් කලින් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ලබාදීමට තීරණය කර ඇත. ලබන වසරේ රුධිර කාන්දුකරණ (Dialysis) මධ්‍යස්ථාන 10ක් ස්ථාපිත කෙරේ. 2027 වන විට අවශ්‍ය සියලුම ගිලන් රථ ලබා දීමට සැලසුම් කර ඇත.
පිරිසිදු පානීය ජලය ලබා දීම රජයේ වගකීමකි. ශක්‍යතා අධ්‍යයන අවසන් කර තිබෙන සියලු ජල ව්‍යාපෘති ලබන වසරේ ආරම්භ කෙරේ. අලුතින් ජල ව්‍යාපෘති 22ක් රුපියල් කෝටි 2,000ක වියදමින් ලබන වසරේ ආරම්භ කරන අතර, නව ජල සැපයුම් පවුල් ලක්ෂ 10කට ලබා දීමට සැලසුම් කර ඇත.
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර මගින් පවුල් 67,000කට සහ තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මගින් පවුල් 25,000කට පිරිසිදු පානීය ජලය ලබා දීම සිදු කෙරේ. මෙම ව්‍යාපෘති ජපාන සහ චීන සහයෝගය මත ක්‍රියාත්මක කෙරෙන අතර, අතපසු වූ ව්‍යාපෘති රජයේ අරමුදල් ද යොදාගනිමින් සාර්ථකව අවසන් කිරීමට පියවර ගෙන ඇත.
















