චීනයේ ජුනි මාසයේ අපනයන වර්ධනය පෙර මාසයට වඩා සුළු වශයෙන් මන්දගාමී වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අනාවැකි පළ කරයි. කෙසේ වෙතත්, ඇමෙරිකාව පැනවීමට ඉඩ ඇති නව තීරුබදු වලට පෙර අපනයන වේගවත් කිරීම, කෘතිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා පවතින ඉහළ ඉල්ලුම සහ තරඟකාරී මිල ගණන් හේතුවෙන් චීන අපනයන අංශය තවදුරටත් ශක්තිමත් මට්ටමක පවතී.
Reuters පුවත් සේවය විසින් ආර්ථික විද්‍යාඥයින් 20 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ සමීක්ෂණයකට අනුව, චීනයේ අපනයන පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව 18.2%කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැයි මාසයේදී මෙම අගය 19.4%ක් ලෙස වාර්තා විය.
ගෝලීය වශයෙන් AI තාක්ෂණය සඳහා සිදු කෙරෙන ආයෝජන චීනයේ ආර්ථිකයට විශාල පිටුවහලක් වී ඇත. විශේෂයෙන්ම අර්ධ සන්නායක සහ අනෙකුත් තාක්ෂණික උපාංග සඳහා පවතින දැඩි ඉල්ලුම අපනයන වර්ධනයට මූලික වී ඇත. මීට අමතරව වසරේ අගභාගයේදී පැනවීමට ඉඩ ඇති තීරුබදු හේතුවෙන්, ඇමෙරිකානු සිල්ලර වෙළෙඳුන් නත්තල් උත්සව සමය ඉලක්ක කර ගනිමින් කල්තියා ඇණවුම් කිරීම් වේගවත් කිරීමද අපනයන ඉහළ යාමට හේතු වී තිබේ.
මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ඉහළ ගිය බලශක්ති පිරිවැය හමුවේ, ගෝලීය පාරිභෝගිකයින් පීඩනයට ලක්ව ඇති බැවින් චීන සමාගම් තම නිෂ්පාදන මිල අඩු කරමින් වෙළෙඳපොළ ජය ගැනීමට උත්සාහ දරයි. අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් වුවද චීනයේ දේශීය ඉල්ලුම තවමත් මන්දගාමී මට්ටමක පවතී. ස්වයංක්‍රීය දත්ත සැකසුම් උපකරණ වැනි තාක්ෂණික නිෂ්පාදනවල අපනයන 60%කින් පමණ ඉහළ ගොස් තිබුණද, ගෘහ භාණ්ඩ වැනි අනෙකුත් භාණ්ඩවල අපනයන වර්ධනය ඉතා අඩු මට්ටමක පැවතීම කැපී පෙනේ. චීනයේ දෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) පිළිබඳ දත්ත බදාදා දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, රජය 4.5% – 5%ක ආර්ථික වර්ධන ඉලක්කයක් තබා ඇත.
















