දක්ෂිකාට එරෙහිව ක්‍රියාත්මක වූ අදෘශ්‍යමාන බලවේග, ඇයව ඇයට අවශ්‍ය නොවන උපාධි පාඨමාලාවක බලහත්කාරයෙන් සිරකර තබා ගැනීමට දැරූ සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන, පරාජය භාරගෙන නිහඬ වීමට කටයුතු කළේ නැත. අදාළ කාරණය පරිපාලනමය සීමාවන්ගෙන් ඔබ්බට රැගෙන යමින්, දක්ෂිකාගේ පෞද්ගලිකත්වයට හානි කරමින් සමාජය ඉදිරියේ ඇයට පෙනී සිටිය නොහැකි තත්ත්වයක් ගොඩනැංවීම ඔවුන්ගේ මීළඟ අරමුණ විය. ඒ සඳහා බාහිර පාර්ශ්වයන් සහ ජනමාධ්‍ය යොදාගනිමින් තවත් ක්‍රියාමාර්ග ගණනාවක් ක්‍රියාත්මක වූ අතර, ඒ වෙනුවෙන් යහමින් මුදල් සහ තෑගි බෝග හුවමාරු වූ බවට විශ්වවිද්‍යාලය තුළ කසුකුසු පැතිරී තිබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස 2018 ජුනි 03 දිනැති “දිවයින ඉරිදා සංග්‍රහයේ” සම්පූර්ණ පිටුවක විශේෂාංග ලිපියක් පළ විය. “තමන්ගේ ප්‍රතිපත්ති තමන්ම කඩා පේරාදෙණියට කැවූ යූ.ජී.සී. (UGC) ය” යන ශීර්ෂයෙන් යුත් එම ලිපියෙහි දක්ෂිකාගේ බඳවාගැනීම වැරදි බව හුවා දක්වමින් සංසන්දනාත්මක තොරතුරු සහ ඇයගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කර තිබුණි.
මෙම ලිපිය මගින් දක්ෂිකාට මනෝවිද්‍යා උපාධිය සඳහා අවසර ලබාදීම වැරදි බව තහවුරු කිරීමට උත්සාහ කර තිබුණේ, 2010 වසරේදී අබේසේකර නම් ශිෂ්‍යාවකට ග්‍රීක සහ රෝම ශිෂ්ඨාචාරය විෂය ධාරාවෙන් ඉංග්‍රීසි විෂය ධාරාව වෙත මාරු වීමට අවසර නොදීමේ සිදුවීමක් උපුටා දක්වමිනි. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එම පුවත්පතටම කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කළේ, අබේසේකර ශිෂ්‍යාවට එම අවස්ථාව අහිමි වූයේ ඇයට අදාළ විෂය ධාරාව සඳහා අවශ්‍ය වන අවම Z-ස්කෝර් අගය නොතිබූ නිසා බවයි.
වඩාත් සැලකිය යුතු කරුණ නම්, 2018 ජුනි මස පළවූ එම විශේෂාංග ලිපිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ නිල දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය වීමයි. දක්ෂිකා පසුපස හඹා යමින් තිබූ අදෘශ්‍යමාන බලවේගය කවුරුන්දැයි අවබෝධ කර ගැනීමට මෙය සියල්ලන්ටම කදිම සාක්ෂියක් විය. කාන්තා විමුක්තිය සහ මානව හිමිකම් පිළිබඳ උජාරුවෙන් දේශනා කරන ඇතැම් පුද්ගලයන්ගේ සැබෑ ස්වරූපය විදහා දැක්වූ මෙම පහත් ක්‍රියාව සදාචාරයට පටහැනි බව 2018 නොවැම්බර් 11 වැනිදා “දිවයින ඉරිදා සංග්‍රහය” කතෘ සටහනකින්ද පෙන්වා දී තිබුණි.















