2010 ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසුව උපත ලැබූ කිසිදු පුද්ගලයෙකුට සියලුම ආකාරයේ දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කරන “දුම්කොළ-නිදහස් පරම්පරාවක්” (Tobacco-free generation) නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තියක් සම්මත කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.
වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් මගින් පෙන්වා දෙන්නේ ලොව වඩාත්ම විනාශකාරී වාණිජ නිෂ්පාදනය දුම්කොළ වන බැවින්, දරුවන් සහ අනාගත පරපුර ඉන් ආරක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය බවයි.
දුම්කොළ පරිභෝජනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පුද්ගලයන් 20,000ක් පමණ මියයන බව වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. මීට අමතරව, දුම්කොළ භාවිතය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු හේතුවෙන් 2019 වසරේදී පමණක් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 214ක දැවැන්ත ආර්ථික පාඩුවක් සිදුව ඇති බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම අහිතකර තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















