තෝරාගත් වාහන ආනයනය සඳහා පනවා ඇති 50%ක තාවකාලික අතිරේක බද්ද (Surcharge) මාස තුනක කාලසීමාවෙන් පසුව තවදුරටත් දීර්ඝ නොකළ යුතු බව ඇඩ්වොකාටා ආයතනයේ (Advocata Institute) ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. මුදල් අමාත්‍යාංශය විසින් ඉකුත් මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවූ මෙම බද්ද ලබන අගෝස්තු 16 වැනිදායින් අවසන් වීමට නියමිත අතර, එය දීර්ඝ කිරීමෙන් වෙළෙඳපොළ තුළ දැඩි අවිනිශ්චිතතාවක් සහ විකෘතිතාවක් ඇති විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගෙන තිබෙන එකඟතා අනුව මෙම බද්ද අවසන් වූ පසු රජයට නැවත වරක් හදිසියේ මෙවැනි බදු පැනවීමට නොහැකි වනු ඇති බවත්, කෙසේ වෙතත් බද්ද ඉවත් කිරීමේදී එකවරම ණයවර ලිපි (L/C) විවෘත කිරීම ඉහළ යාමෙන් වෙළෙඳපොළ යම් කැළඹීමකට ලක්වීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය. දැනටමත් වාහන සඳහා 150% සිට 200% දක්වා අධික ආනයන බදු පවතින පසුබිමක මෙවැනි අතිරේක බදු පැනවීම සාධාරණීකරණය කළ නොහැකි බවත්, රජය කළ යුත්තේ බදු බර පැටවීම වෙනුවට රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වෙත යොමුවීම බවත් ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















