මරණයෙන් පසු තම දෑස් දන් දීම සඳහා පොරොන්දු පත්‍ර අත්සන් කර ලියාපදිංචි වී ඇති පිරිස 2,307,800 (ලක්ෂ 23කට වඩා) දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාක්ෂි දාන සංගමය (Sri Lanka Eye Donation Society) පවසයි.
එම සංගමයේ සභාපති අයෝධ්‍යා සම්පත් ද සිල්වා මහතා සඳහන් කළේ පසුගිය ජුනි මාසය තුළ පමණක් දෑස් 1,443ක් පරිත්‍යාග ලෙස ලැබී ඇති බවයි. එමඟින් මෙරට රෝගීන් 173 දෙනෙකුට සහ විදේශීය රෝගීන් 670 දෙනෙකුට ඇස් බද්ධ කිරීමේ සැත්කම් (Corneal Transplants) සාර්ථකව සිදු කර තිබේ.
මේ දක්වා ශ්‍රී ලංකාක්ෂි දාන සංගමයේ බද්ධ කිරීමේ වැඩසටහන හරහා මෙරට රෝගීන් 138,850 දෙනෙකුට සහ විදේශීය රෝගීන් 104,292 දෙනෙකුට ඇතුළුව සමස්තයක් ලෙස පුද්ගලයින් 243,142 දෙනෙකුට පෙනීම ලබා දීමට හැකි වී ඇත. මීට අමතරව එම සංගමයේ පටක බැංකුව (Tissue Bank) මඟින් පසුගිය මාසයේදී පටක 212ක් බද්ධ කිරීම් සඳහා සපයා ඇති අතර, ජුනි මාසය තුළ නොමිලේ ඇස් කණ්ණාඩි 1,933ක් බෙදා දීම සහ නොමිලේ සුද ඉවත් කිරීමේ (Cataract) සැත්කම් 167ක් ද සාර්ථකව සිදු කර තිබේ.
















