තායිලන්තයේ බැංකොක් අගනුවර පිහිටි ජනප්‍රිය රාත්‍රී සමාජශාලාවක (Pub) ඉකුත් ඉරිදා මධ්‍යම රාත්‍රියේ හටගත් දරුණු ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 73 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන්ගෙන් 25 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතළ බව බැංකොක් නගර බලධාරීහු පවසති. ගින්න හටගත් අවස්ථාවේදී එහි සිටි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේ, එකවරම විදුලිය විසන්ධි වී බිත්තියේ තිබූ විදුලි පරිපථයකින් දුම් පිටවීමට පටන් ගත් බවත්, පසුව සිදු වූ පිපිරීමක් සමඟ විශාල ගින්නක් පැතිර ගිය බවත්ය. මෙය 2009 වසරෙන් පසු තායිලන්තයේ සිදුවූ දරුණුතම සමාජශාලා ගින්න ලෙස වාර්තා වේ.
බලධාරීන්ගේ මූලික විමර්ශනවලට අනුව, සිවිලිමේ තිබූ වායුසමීකරණ යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් (Short Circuit) ගින්නට හේතුවන්නට ඇතැයි සැක කෙරේ. කෙසේ වෙතත්, ගොඩනැගිල්ලේ ශබ්ද පරිවාරක සඳහා භාවිත කර තිබූ දැවෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇත. මියගිය පුද්ගලයන්ගෙන් බහුතරයකගේ සිරුරු හමුවී ඇත්තේ පසුපස දොරක් අසල පිහිටි ජනෙල් රහිත වැසිකිළි තුළ සිරවීමෙනි. ගින්නෙන් බේරීම සඳහා ඔවුන් එහි රැකවරණය පතා ඇති බව පොලිසිය විශ්වාස කරයි.
ගොඩනැගිල්ලෙන් පිටවීමට දොරටු හතරක් තිබුණද, ඉන් සමහරක් අගුලු දමා තිබීම හෝ බාධක පනවා තිබීම හේතුවෙන් මිනිසුන්ට පිටතට යාමට නොහැකි වී තිබේ. ඇතැම් හදිසි පිටවීමේ දොරටු අසල රසකැවිලි විකිණීම සඳහා මේස තබා තිබීම සහ දැඩි අඳුර පැවතීම නිසා මිනිසුන්ට දොරටු සොයා ගැනීමට නොහැකි වී ඇති බව තායිලන්ත පොලිස් ප්‍රධානියා සඳහන් කළේය. වගකිවයුත්තන්ගේ නොසැලකිලිමත්කම මත පදනම්ව පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙවැනි අනතුරු වළක්වා ගැනීමට ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස ක්‍රියාත්මක නොවීම පිළිබඳව බැංකොක් වැසියන් අතර දැඩි කනස්සල්ලක් මතුව ඇත.














