පසුගිය වසර පහක කාලය තුළ ගුරුවරුන් බඳවා නොගැනීම පාසල්වල පවතින ගුරු හිඟයට ප්‍රධාන හේතුව බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පවසයි. දෙනියාය මධ්‍ය විද්‍යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ලබන වසරේ ජනවාරි වන විට නව රජය යටතේ සියලුම පාසල්වල ගුරු පුරප්පාඩු පුරවා අවසන් කරන බවයි. මේ වන විට දිවයිනේ සියලුම පාසල්වල පුරප්පාඩු ගණනය කර ඇති අතර, මාතර දිස්ත්‍රික්කයේ සෑම ජාතික පාසලකම ගුරු පුරප්පාඩු 40කට වඩා පවතී. ඉදිරියේදී ගුරු සේවයට බඳවා ගනු ලබන්නේ ඉගැන්වීම් සහිත උපාධියක් ඇති අය පමණක් බවත්, ගුරු මාරුවීම් සියල්ල දේශපාලන මැදිහත් වීම්වලින් තොරව ගුරු මාරු මණ්ඩලය හරහා පමණක් සිදු කරන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ලබන වසර අවසන් වීමට පෙර සියලුම පාසල් සහ විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ඉදිකර අවසන් කරන බවයි. එමෙන්ම පළාත් පාසල් සහ මධ්‍යම ආණ්ඩු පාසල් සංකල්පය ඉවත් කර, වර්ග කිලෝමීටර් 3ක් ඇතුළත පිහිනුම් තටාක සහිත අංගසම්පූර්ණ පාසල් පද්ධතියක් බිහිකිරීමට ද සැලසුම් කර ඇත. මේ වසරේදී ළමුන් 300 ත් 500 ත් අතර සංඛ්‍යාවක් ඇතුළත් කරගත හැකි අංගසම්පූර්ණ ප්‍රාථමික පාසල් 1,000ක් සහ ලබන වසරේදී ද්විතීයික පාසල් 1,000ක් ආරම්භ කිරීමට නියමිතය.
මීට අමතරව පාසල් සිසුන් සඳහා විශේෂ හැඳුනුම්පතක් හඳුන්වා දීමට කටයුතු සූදානම් කර ඇති අතර, එමඟින් අධ්‍යාපනය අවසන් වනතුරුම ලංකාව තුළ නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව හිමිවේ. ඉතිහාසයේ වැඩිම මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇත්තේ මෙම පරිවර්තනය සඳහා බවත්, දේශපාලඥයන් බල කර වැඩ ගත් පැරණි සංස්කෘතිය දැන් අවසන් වී ඇති බවත් මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














