පවතින ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් පෙර පාසල් යන දරුවන්ගේ දෑත් සහ දෙපා වැසෙන පරිදි සුදුසු ඇඳුම් අන්දවා පෙර පාසල් වෙත යොමු කරන ලෙස ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. ජාතික ළමා වියේ සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ඩෙංගු මදුරුවන් දෂ්ට කිරීමෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් සිසුන්ට ද දෑත් සහ දෙපා වැසෙන පරිදි ඇඳුම් ඇඳීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර අවසර ලබා දී ඇති අතර, එම ආරක්ෂිත පියවර පෙර පාසල් දරුවන් සඳහා ද අනුගමනය කිරීමේ වැදගත්කම අමාත්‍යවරිය අවධාරණය කළාය. මීට අමතරව, දරුවන්ට සුදුසු සහ ආරක්ෂිත මදුරු විකර්ෂක ද භාවිත කරන ලෙසත්, ඉදිරි සති දෙකක කාලය ඉතා තීරණාත්මක බැවින් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වසරේ (2026) ජූලි 12 වන දින වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672කි. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 36,118කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,112ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,791ක් ලෙස වාර්තා වී ඇත. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47කි.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය පසුගියදා යළි විවෘත කරන ලදී. ජූලි 2 වන දින සිට සති දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ විශ්වවිද්‍යාල පරිශ්‍රය මේ වන විට පිරිසිදු කර ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති බව ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය පවසයි. අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමත් සමඟ විශ්වවිද්‍යාල භූමිය පිරිසිදුව තබා ගැනීම සඳහා සියලුම සිසුන් වගකීමෙන් කටයුතු කරන ලෙස ඇය ඉල්ලා සිටියි.














