ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර පළමු දේශපාලන උපදේශන වටය පසුගිය ජූලි 9 වන දින උස්බෙකිස්තානයේ තෂ්කන්ට් නුවරදී සාර්ථකව පවත්වා තිබේ. දෙරටේ විදේශ කටයුතු අමාත්‍යාංශ අතර නිත්‍ය රාජ්‍ය තාන්ත්‍රික සංවාදයක් සහ සහයෝගීතාවයක් පවත්වාගෙන යාම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම මෙම සාකච්ඡාවල ආරම්භය සනිටුහන් කළේය.
ශ්‍රී ලංකා දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය විසින් ද, උස්බෙකිස්තාන දූත පිරිස එරට විදේශ කටයුතු පිළිබඳ පළමු නියෝජ්‍ය අමාත්‍ය බක්රොම්ජොන් ඇලොයෙව් මහතා විසින් ද මෙහෙයවන ලදී. දෙරට අතර වෙළඳාම විවිධාංගීකරණය කිරීමටත්, වෙළඳ පරිමාව ඉහළ නැංවීමටත් පියවර ගැනීමට දෙපාර්ශවය එකඟ වූ අතර, විශේෂයෙන් ඇඟලුම් නිෂ්පාදනය, තේ ඇසුරුම්කරණය, මුහුදු ආහාර අපනයනය සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු විය.
උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සෘතුමය චාටර් ගුවන් ගමන් ආරම්භ වීම දෙරට අතර සංචාරක ව්‍යාපාරය දිරිමත් කිරීමට ගත් ධනාත්මක පියවරක් ලෙස ඇගයීමට ලක් විය. සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන තෂ්කන්ට් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා සංචාරක අංශයට ආරාධනා කෙරිණි. ශ්‍රී ලාංකික සිසුන් අතීතයේ සිටම සෝවියට් සමූහාණ්ඩුවේ සහ උස්බෙකිස්තානයේ විශ්වවිද්‍යාලවල ඉංජිනේරු සහ වෛද්‍ය අධ්‍යාපනය ලබා ඇති බව සිහිපත් කළ රණරාජා මහත්මිය, එම අධ්‍යාපනික සහයෝගීතාවය යළි නඟා සිටුවීමේ වැදගත්කම අවධාරණය කළාය.
සාකච්ඡා අවසානයේ දෙරටේම එකඟතාවය මත, දෙවන දේශපාලන උපදේශන වටය 2027 වසරේදී කොළඹදී පැවැත්වීමට තීරණය කෙරිණි. මෙම සංචාරයේදී විදේශ ලේකම්වරිය උස්බෙකිස්තානයේ ආයෝජන, කර්මාන්ත හා වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු ද හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූවාය.














