ශ්‍රී ලංකාවේ වෙරළ තීරය සහ සමුද්‍රීය පරිසර පද්ධතිය දූෂණයෙන් මුදවා ගැනීම අරමුණු කරගනිමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ‘Ocean Watch’ නමින් නව ජංගම දුරකථන යෙදුමක් දියත් කර තිබේ. රජයේ ආයතන, පළාත් පාලන ආයතන සහ වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත සංවිධාන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම මෙම යෙදුමේ මූලික අරමුණයි.
මෙම නව ඩිජිටල් වේදිකාව මගින් පරිශීලකයන්ට පිරිසිදු කිරීමක් අවශ්‍ය වන වෙරළ ප්‍රදේශ හඳුනා ගැනීමට සහ වාර්තා කිරීමට හැකියාව ලැබේ. තවද, සාගර දූෂණය පිළිබඳ සිද්ධීන් සහ පරිසර පැමිණිලි තත්‍ය කාලීනව වාර්තා කිරීමටත්, ගොඩබිම් අපද්‍රව්‍ය මුහුදට ගලා යාම වැළැක්වීම සඳහා ඇළ මාර්ගවල බාධක ස්ථාපනය කළ යුතු ස්ථාන පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත් මෙයින් හැකියාව පවතී. මීට අමතරව, වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන සංවිධාන සහ අදාළ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සිදු කරනු ලබයි.
පෞද්ගලික අංශයේ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන වෙත ආයතනික සමාජ සත්කාර වැඩසටහන් හරහා නිශ්චිත වෙරළ තීරයන් පවත්වාගෙන යාමට සහ වෙරළ සංරක්ෂණයට දායක වීමට මෙම යෙදුම දිරිමත් කරයි. මෙම නව ඩිජිටල් වේදිකාව මගින් සමුද්‍රීය පරිසර කළමනාකරණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන අතරම, ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ආරක්ෂා කිරීමට සහ අනාගත පරපුර උදෙසා පිරිසිදු සාගරයක් සහ වෙරළ තීරයක් සහතික කිරීමට පුරවැසියන්ට සෘජු දායකත්වයක් ලබා දිය හැකි බව MEPA පවසයි.














