කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පාතාල අපරාධකරුවකු වන ගණේමුල්ලේ සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, තම පියා වන ව්‍යාපාරික ඔස්මන්ඩ් ගුණසේකර මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සහ තමන්ව ද කැඳවා තර්ජනාත්මක ස්වරූපයෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පුත්‍රයා වන ෂෙහාන් ගුණසේකර මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අදාළ සිද්ධියට සම්බන්ධව තමන් ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බැවින්, එය වළක්වන අතුරු නියෝගයක් පොලිසියට නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳීගේ යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව, සැප්තැම්බර් 03 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂවරයාට නියෝග කෙරිණි.
පෙත්සම්කරු වැඩිදුරටත් සඳහන් කරන්නේ, පසුගිය මැයි 13 වැනිදා තම පියාගේ ගම්පහ නිවසේ සිදුකළ සෝදිසියකදී සොයාගත් ගිනිඅවි දෙක නීත්‍යානුකූල බලපත්‍ර සහිත ඒවා බවයි. එසේ තිබියදීත්, එම නිවසේ නීති විරෝධී ගිනිඅවි තිබූ බවට මාධ්‍ය හරහා වැරදි තොරතුරු ප්‍රචාරය වූ බව පෙත්සම මගින් පෙන්වා දී ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා ඇතුළු පිරිසක් නම් කර තිබේ.














