පේරාදෙණියේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව සිදුකළ මෙම ක්‍රියාව පිළිබඳව 2018 නොවැම්බර් 11 වැනිදා “දිවයින ඉරිදා සංග්‍රහය” සිය කතුවැකියෙන් මෙසේ සඳහන් කළේය:
“2018 ජුනි මස 03 වැනිදා පළවූ එම පුවත්පත් ලිපිය කිනම් හේතුවක් මත හෝ අද දක්වාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කර ඇතැයි වාර්තා වේ. යථෝක්ත පුවත්පත් ලිපිය හේතුවෙන් විජේසේකර ශිෂ්‍යාවට අපහසුතාවයක්, මානසික පීඩනයක් ඇති වූයේ නම් ඒ පිළිබඳව කණගාටුව පළකරමු.”
මෙම සටහන ඇතුළත් වූයේ දක්ෂිකා සම්බන්ධ පුවත්පත් විශේෂාංගය පිළිබඳව කණගාටුව පළකරමින් එම පුවත්පත විසින්ම පළකළ නිවැරදි කිරීමේ සටහන තුළය. මෙම නිවැරදි කිරීම ලබාගැනීම සඳහා දක්ෂිකා වෙනුවෙන් ඇයගේ මවට ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම වෙත පැමිණිලි කිරීමට සිදුවිය. එම කොමිසමේ විභාගයකින් පසුව ලබාදුන් නිර්දේශ පරිදි අදාළ නිවැරදි කිරීම පළකිරීමට පුවත්පතට සිදුවිය.
2018 ජුනි 03 වැනිදා පළවූ එම අසත්‍ය ලිපියේ ඇති කරුණු වැරදි බව පිළිගෙන දිවයින පුවත්පත විසින් කණගාටුව පළකළ 2018 නොවැම්බර් 11 වැනිදා වන විටත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ නිල දැන්වීම් පුවරුවේ, දක්ෂිකාඑරෙහිව පළ කළ අසත්‍ය ලිපිය ප්‍රදර්ශනය වෙමින් තිබුණි. එහි ප්‍රදර්ශිත කාලය දළ වශයෙන් මාස 5කට අධිකය. එම කාලසීමාව තුළ අදාළ දෙපාර්තමේන්තුවේ පමණක් නොව, වෙනත් දෙපාර්තමේන්තුවලද දහස් ගණනක පිරිසක් මෙම අසත්‍ය තොරතුරු කියවා තිබුණි. ඉන් දක්ෂිකාට සිදුවූ හානිය කිසි දිනෙක ගණනය කළ නොහැකි තරම්ය.
එහෙත් පුවත්පත විසින් එම පුවත නිවැරදි කළ පසුව හෝ , එකී නිවැරදි කිරීම ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කිරීමට හෝ ඒ සම්බන්ධයෙන් අවම වශයෙන් කණගාටුවක් පළකිරීමටවත් එම දෙපාර්තමේන්තු පරිපාලනය සදාචාර සම්පන්න නොවීය.
වැලි කුණාටුවක් එන විට පැස්බරා සිය හිස වැල්ලේ සඟවා ගත්තද, උගේ සිරුරේ සෙසු කොටස් තිබෙන්නේ එළියේය. එසේම දක්ෂිකාට එරෙහිව මෙම පලිගැනීම ක්‍රියාත්මක කළවුන්ද දැනගත යුත්තේ, තමන් ආචාර්ය, මහාචාර්ය වැනි උසස් තනතුරුවල හිස සඟවා ගත්තද, ඔවුන්ගේ අසදාචාරාත්මක ක්‍රියාවන් සියල්ලන්ටම පෙනෙන පරිදි එළියේ පවතින බවය.















