ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහළ යාම සහ ජනගහනය වේගයෙන් මහලු වීම හේතුවෙන් මතුව ඇති අභියෝග මධ්‍යයේ, ළමා සංවර්ධනය වැඩිදියුණු කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න දරු උපත් දිරිමත් කිරීමට රජය විශේෂ පියවර ගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි.
අද (14) ආරම්භ වන ජාතික ළමා සංවර්ධන සතියට සමගාමීව මාධ්‍ය අමතමින් ඇය සඳහන් කළේ, රටේ ළදරු ජනගහනයෙන් ලක්ෂයක් පමණ අඩු වී ඇති අතර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ගේ සංඛ්‍යාව ද ලක්ෂයකට අධික ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බවයි. එමෙන්ම මහලු ජනගහනය අඛණ්ඩව ඉහළ යන බවත් ඇය පෙන්වා දුන්නාය.
රජය අලුත විවාහ වූ තරුණ යුවළ දිරිමත් කිරීමට සහ දරුවන් ලැබීමේ වැදගත්කම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම සමාජයට දායක විය හැකි සෞඛ්‍ය සම්පන්න සහ දක්ෂ දරුවන් බිහි කිරීම දිරිමත් කිරීම සඳහා තරුණ පරපුර, ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ සාකච්ඡා කිරීමට රජය සැලසුම් කර ඇත. අවදානමට ලක්විය හැකි පවුල්වල උපදින දරුවන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය සඳහා ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.
අඩු ආදායම්ලාභී ගර්භනී මව්වරුන් සඳහා මසකට රුපියල් 4,500ක් වටිනා පෝෂණ මල්ලක් මාස 10ක් පුරා ලබා දීමේ වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක වේ. පූර්ව පාසල් දරුවන්ගේ පෝෂණ මට්ටම ඇගයීමෙන් පසු උදෑසන ආහාර වේලක් ලබා දෙන අතර, රජය එක් දරුවෙකු සඳහා වෙන් කරන මුදල රුපියල් 60 සිට 100 දක්වා වැඩි කර තිබේ. 2027 වසරේදී මෙම මුදල තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. මීට අමතරව අඩු උපත් බරැති ළදරුවන් සහ ගර්භනී මව්වරුන් සඳහා ත්‍රිපෝෂ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ප්‍රාථමික පාසල්වල ද උදෑසන ආහාර වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.













