බොරලැස්ගමුව, පැපිලියාන ප්‍රධාන මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට ඊයේ (14) අලුයම කඩා වැදුණු මුහුණු ආවරණය කරගත් දස දෙනෙකුගෙන් යුත් සන්නද්ධ කල්ලියක්, එහි හිමිකරුට අමානුෂික ලෙස පහරදී රුපියල් ලක්ෂ ගණනක දේපළ හා මුදල් කොල්ලකා පළාගොස් තිබේ.
අලුයම 2.00ට පමණ මන්නා පිහි සහ පොලු රැගෙන පැමිණි මෙම පිරිස, ආයතනයේ හිමිකරු සහ එහි සේවය කරන තායිලන්ත ජාතික කාන්තාවක් නිදා සිටි කාමරයට කඩා වැදී ප්‍රහාරය එල්ල කර ඇත. පහරදීමෙන් තුවාල ලැබූ හිමිකරු ‘1990 සුවසැරිය’ ගිලන් රථ සේවාව මගින් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම කොල්ලකෑමේදී හිමිකරුගේ රුපියල් ලක්ෂ හතක් වටිනා රන් මාලය සහ පෙන්ඩනය, රුපියල් 116,500ක මුදලක් සහ එහි සිටි තායිලන්ත කාන්තාවකගේ රුපියල් 205,000ක මුදලක් සැකකරුවන් විසින් පැහැරගෙන ඇත. මීට අමතරව රුපියල් 850,000කට අධික වටිනාකමකින් යුත් රූපවාහිනී යන්ත්‍ර, ගෘහ උපකරණ, දොර ජනෙල් සහ අභ්‍යන්තර කොටස් සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් කර විනාශ කර තිබේ. සැකකරුවන් තම අනන්‍යතාවය සැඟවීම සඳහා ආයතනයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ ඩී.වී.ආර්. (DVR) යන්ත්‍රය ද ගලවාගෙන ගොස් ඇත.
මීට පෙර ‘මාදිවෙලවත්තේ පණුවා’ නමැති අයෙකු විසින් මෙම ආයතනය පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවට තර්ජනය කර තිබූ බව හිමිකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. බොරලැස්ගමුව පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුමක් දියත් කර තිබේ.















