ඔබේ ජංගම දුරකථනයට රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවන ලෙස දන්වා කෙටි පණිවුඩයක් හෝ වට්ස්ඇප් පණිවුඩයක් ලැබී තිබේද? එසේ නම් ඔබ සිටින්නේ දැඩි අවදානමකය. මෙය දඩ මුදල් අය කිරීමක් නොව, ඔබේ බැංකු ගිණුම්වල ඇති මුදල් අහිමි කරවන අලුත්ම මාර්ගගත වංචාවකි.
රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර මහතා පවසන්නේ පොලිසිය විසින් කිසිවිටෙකත් මෙවැනි කෙටි පණිවුඩ හරහා දඩ මුදල් ඉල්ලා නොසිටින බවයි.
මෙම වංචනික පණිවුඩ මගින් පාරිභෝගිකයා පොළඹවන්නේ එහි ඇති වෙබ් සබැඳි (Web Link) හරහා ගොස් දඩ මුදල් ගෙවන ලෙසයි. නමුත් එම සබැඳිය විවෘත කිරීම හෝ ඔබේ පුද්ගලික සහ බැංකු තොරතුරු එහි ඇතුළත් කිරීම මගින් ඔබේ ගිණුමේ ඇති මුදල් සූක්ෂ්ම ලෙස සොරකම් කිරීමට වංචනිකයන් කටයුතු කරනු ඇත.
මේවා සම්පූර්ණයෙන්ම ව්‍යාජ පණිවුඩ බැවින් එවැනි සබැඳි විවෘත නොකරන ලෙසත්, ඔබේ කිසිදු පුද්ගලික තොරතුරක් ලබා නොදෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී. ඔබ වෙත මෙවැනි පණිවුඩයක් ලැබුණහොත් කිසිදු පැකිලීමකින් තොරව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දී ඔබේ ආරක්ෂාව තහවුරු කරගන්න.















