න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර ප්රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව ඉහළ කැපවීමකින් කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC) සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) එක්ව සංවිධානය කළ “න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික හැඳින්වීමේ කලාපීය පුහුණු වැඩමුළුව” ඊයේ (13) කොළඹ රාමඩා හෝටලයේදී ආරම්භ කෙරිණි. ජූලි 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම වැඩසටහන, ඒකාබද්ධ න්‍යෂ්ටික ආරක්ෂක තිරසර සැලැස්ම (INSSP) යටතේ ක්‍රියාත්මක වේ.
මෙම වැඩමුළුවේ අරමුණ වන්නේ න්‍යෂ්ටික හෝ විකිරණශීලී ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සහ අනවසර ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යා දැනුම සහ ජාතික ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීමයි. වර්තමාන ලෝකයේ පවතින අවදානම් හමුවේ සිද්ධීන් විමර්ශනය කිරීමට සහ ද්‍රව්‍යවල මූලාශ්‍ර හඳුනා ගැනීමට මෙම ක්ෂේත්රය අත්‍යවශ්‍ය මෙවලමක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තවද, මෙවැනි කලාපීය වැඩසටහන් මගින් රටවල් අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය සම්බන්ධ තර්ජනවලට සූදානම ඉහළ නැංවීම සිදුවන බවද ඔහු අවධාරණය කළේය.
මෙම පුහුණු වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමටත්, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ.
















