ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළ අතර, ඉදිරි පියවර සඳහා තවදුරටත් කාලය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. මෙහිදී ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියද, අදාළ පුද්ගලයා නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බැවින් එය අනවශ්‍ය බව මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති අතර, නඩුවේ දෙවන සැකකාරිය වන ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීමට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබේ. අධිකරණය විසින් නඩුව නැවත ඔක්තෝබර් 13 වැනිදා කැඳවීමට නියම කළ අතර, එදිනට විමර්ශනවල ප්‍රගතිය සවිස්තරාත්මකව ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කරන ලදී.
















