ඉන්දියාවේ තංජාවූර් දිස්ත්‍රික්කයේදී, දැඩි හිරු රශ්මිය මධ්‍යයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ සිරවීමෙන් 6 හැවිරිදි පිරිමි දරුවෙකු හුස්ම හිරවී ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් වාර්තා වේ.
සිද්ධිය වූ දිනයේ දරුවා සිය ඥාතියෙකු සමඟ මෝටර් රථයෙන් පිටතට ගොස් නැවත නිවසට පැමිණ ඇති අතර, රථයෙන් බැසීමේදී දරුවා පසුපස අසුනේ සිටින බව ඥාතියාට අවබෝධ වී නොමැත. ඒ අනුව රථයේ දොර ජනෙල් සම්පූර්ණයෙන්ම වසා දමා ඔහු නිවසට ගොස් ඇත. දරුවා නොමැති බව වටහාගත් පවුලේ සාමාජිකයන් සිදුකළ සෝදිසියකදී, පස්වරු 7.00 ට පමණ රථය තුළ සිහිය නැතිව සිටි දරුවා හමුවී ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටියේය.
රථය තුළ පැවති අධික උෂ්ණත්වය සහ ඔක්සිජන් හිඟකම මරණයට හේතු වී ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු විය. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වළක්වා ගැනීම සඳහා වාහන නවතා යන විට ඒ තුළ දරුවන් සිටීදැයි නැවත වරක් පරීක්ෂා කරන ලෙස පොලිසිය වැඩිහිටියන්ගෙන් දැඩිව ඉල්ලා සිටී.













