මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් වන උතුරු මැද පළාත් ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු, දකුණු ආසියාවේ දිගම වාරිමාර්ග උමං මාර්ගයේ කැනීම් කටයුතු සාර්ථකව අවසන් කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
කිලෝමීටර් 27.7ක් දිගින් යුත් මෙම උමං මාර්ගයේ කැනීම් කටයුතු මහ මීගස්වැව සහ කොඳුරාව ප්‍රදේශවලින් එකවර ආරම්භ කරන ලද අතර, උමං කැනීම් යන්ත්‍ර දෙකක් භාවිතයෙන් උමං කොටස් දෙක එකිනෙක මුණගැස්වීම හරහා මෙම ඉංජිනේරු ජයග්‍රහණය සපුරා ගෙන ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර ඇතිව මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.
කිලෝමීටර් 240ක් දිගින් යුත් උතුරු මැද පළාත් ඇළ ව්‍යාපෘතිය හරහා ප්‍රධාන වාරි පද්ධති 12කට සහ වැව් 1,505කට ජලය බෙදා හැරීම සිදු කෙරේ. එමගින් යල සහ මහ කන්න දෙකේදී අක්කර 74,000ක වගා කටයුතු සඳහා සෘජු ප්රතිලාභ පවුල් 25,000කට හිමිවේ.
රාජරට ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත්කරන නිදන්ගත වකුගඩු රෝගය සඳහා විසඳුමක් ලෙස පිරිසිදු පානීය ජලය ලබා දීම මෙම ව්‍යාපෘතියේ තවත් මූලික අරමුණකි. ව්‍යාපෘතිය අවසන් වූ පසු වාර්ෂිකව ජලය ඝන මීටර් මිලියන 70ක් ලබා දීම තුළින් පුද්ගලයින් මිලියන 1.5කගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට අපේක්ෂා කෙරේ.
















