වාර්ෂික කතරගම ඇසළ උත්සවයට සහභාගී වීම සඳහා උතුරු නැඟෙනහිර සිට යාල සහ විල්පත්තු මහ වනය මැදින් පාගමනින් පැමිණෙන දහස් සංඛ්‍යාත දමිළ බැතිමතුන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සැපයීමේ උතුම් පුණ්‍යකර්මය ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය විසින් මෙවරත් ආරම්භ කර තිබේ.
මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය සිතුල්පව්ව රාජමහා විහාරය ඇතුළු දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ලේල්වල සමිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අනුශාසනා පරිදි ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙල පිළිබඳව අදහස් දක්වමින් නාහිමියන් සඳහන් කළේ, සිතුල්පව්ව රාජමහා විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත මැටරඹ ශ්‍රී හේමරතනාභිධාන ගුරුදේවයන් වහන්සේගේ අදහසකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ වූ බවයි.
සංහිඳියාවේ සහ මානව දයාවේ සංකේතයක් බඳු මෙම උතුම් කටයුත්ත ඉදිරි වසරවලදීත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා දායක වීමට කැමති සැමට සහයෝගය ලබාදිය හැකි බවත් නායක ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් සිහිපත් කළහ.















