මහනුවර නගරයේ පදිකයින් ආරක්ෂිතව මාර්ගය හරහා මාරුවීම සඳහා උමං මාර්ග පද්ධති පැවතියද, ඒවා නොසලකා හරිමින් පදික මාරුවක් නොමැති ස්ථානවලින් අනතුරුදායක ලෙස මාර්ගය හරහා ගමන් කළ පදිකයින් 25 දෙනෙකුට දඩ නියම කෙරිණි.
එක් අයෙකුට රුපියල් 2,500 බැගින් දඩ මුදල් ගෙවන ලෙස මහනුවර අතිරේක මහේස්ත්රාත් දේවිකා සී. ජයවර්ධන මහත්මිය නියෝග කළේය. මහනුවර පොලිස් මූලස්ථානයේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, තමන් කළ වරද ඔවුන් විසින් පිළිගැනීම නිසා මෙම දඩ නියෝගය ලබා දුන්නේය.
















