කාන්තා ව්‍යවසායිකාවන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) ශක්තිමත් කරමින්, ඔවුන්ට එක්සත් රාජධානියේ වෙළඳපලට පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය මගපෙන්වීම් ලබා දෙන නව අපනයන අත්පොත් ද්විත්වයක් එළිදක්වා තිබේ. SheTrades ශ්‍රී ලංකා මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.
මෙම අත්පොත් මගින් ඇඟලුම්, පාවහන්, අත්කම් නිර්මාණ මෙන්ම සකස් කළ කෘෂිකාර්මික ආහාර සහ කුළුබඩු වැනි අංශවල ව්‍යවසායකයින්ට එක්සත් රාජධානියේ ‘සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය’ (DCTS) පිළිබඳව අවබෝධයක් ලබා දෙයි. මෙම ක්‍රමය යටතේ ශ්‍රී ලාංකික නිෂ්පාදනවලින් 92%කට තීරුබදු රහිතව එක්සත් රාජධානියේ වෙළඳපලට ඇතුළු වීමට අවස්ථාව හිමිවේ.
දේශීය භාෂාවලින් මෙම තොරතුරු ලබා දීම මගින් දිවයින පුරා සිටින ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළඳපල අවශ්‍යතා, ක්‍රියා පටිපාටි සහ නියාමන අනුකූලතාවයන් පිළිබඳව වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගත හැකි බව බලධාරීහු පෙන්වා දෙති. මෙම වටිනා අත්පොත් පහත වෙබ් අඩවිය හරහා දැන් බාගත කරගත හැකිය.
















