සමූපකාර ක්ෂේත්රය නවීන තාක්ෂණය සමඟ බද්ධ කිරීමේ අරමුණින්, සමූපකාර සාමාජිකයන් සඳහා වන නව ඩිජිටල් ද්වාරය වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
මිලේනියම් අයි.ටී. (MillenniumIT) ආයතනය විසින් සිය සමාජ වගකීමක් ලෙස නොමිලේ නිර්මාණය කරදුන් මෙම මධ්‍යගත පද්ධතිය මගින්, දිවයින පුරා විසිරී ඇති සමූපකාර සමිති සහ ඒවායේ සාමාජිකයන් තනි සුරක්ෂිත ඩිජිටල් අවකාශයකට ගෙන එනු ලැබේ. මෙතෙක් දත්ත වාර්තා ලබා ගැනීමේදී පැවති දුෂ්කරතා මඟහරවා ගනිමින්, සමිති ලියාපදිංචිය සහ සාමාජික තොරතුරු කළමනාකරණය වඩාත් විධිමත්, නිවැරදි සහ විනිවිදභාවයකින් සිදුකිරීමට මෙය මහෝපකාරී වනු ඇත.
සමූපකාර ක්ෂේත්රයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මහා පරිමාණ ඩිජිටල් පරිවර්තනයක පළමු අදියර ලෙස මෙය සැලකේ. අනාගතයේදී ඩිජිටල් සාමාජික අනන්‍යතාවය, මාර්ගගත සේවා, ඩිජිටල් ගෙවීම්, සමූපකාර බැංකු සහ අලෙවිසැල් ජාලගත කිරීම වැනි පුළුල් පරාසයක පහසුකම් මෙම පද්ධතිය ඔස්සේ හඳුන්වා දීමට නියමිතය.
















