උරුමයට ජීවයක්” ජාතික වැඩසටහන යටතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම, ගල්ලිදයාය ඓතිහාසික පොකුණ සංරක්ෂණය කිරීමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරිණි. පසුගිය ජුනි මස සිට සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලින්, ශ්‍රී ලංකාවේ අතීත ජාත්‍යන්තර වෙළඳ සබඳතා සහ දේශීය ලෝහ තාක්ෂණික දියුණුව සනාථ කරන සුවිශේෂී සාධක රැසක් හමුවීම මෙහි සුවිශේෂත්වයකි.
මෙම කැණීම් මගින් සොයාගත් සාධක අතර, එකල පැවති විදේශ වෙළඳ සබඳතා තහවුරු කරන විදේශීය රුලේටර් වර්ගයේ මැටි බඳුන් කොටස්, පුරාණ යකඩ නිස්සාරණ කර්මාන්තයට සාක්ෂි දරන යබොර කැබලි, හෙල්ලයක කොටස් සහ ධාන්‍ය හෝ ඖෂධ ඇඹරීමට භාවිත කළ අත්ගල් ප්‍රධාන වේ. මෙම සොයාගැනීම් හරහා අපේ මුතුන් මිත්තන් සතුව තිබූ දියුණු තාක්ෂණික භාවිතයන් සහ ජාත්‍යන්තර වශයෙන් පැවති සබඳතා පිළිබඳව පැහැදිලි සාක්ෂි ලැබී ඇතැයි පුරාවිද්‍යා නිලධාරීන් පෙන්වා දෙති.
අනුරාධපුර දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආර්.ජී. ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නිකත්තේගම ආනන්ද ස්ථවිරයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. අතීත උරුමයන් ආරක්ෂා කරගනිමින් ඒවා අනාගත පරපුරට දායාද කිරීමේ මෙම වැඩසටහනට රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
















