වසර ගණනාවක ආර්ථික පසුබෑමකින් පසු ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්රය නව ආර්ථික පුනර්ජීවනයක ප්‍රමුඛතම සාධකය බවට පත්වෙමින් පවතී. බැංකු ණය පහසුකම් ඉහළ යාම, විදේශීය සෘජු ආයෝජන වර්ධනය වීම සහ ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා පවතින ඉහළ ඉල්ලුම මේ සඳහා මූලික හේතු වී ඇත.
පසුගිය වසරේ (2025) දත්තවලට අනුව ඉදිකිරීම් ක්ෂේත්රයට ලබාදුන් ණය ප්‍රමාණය වාර්තාගත ලෙස 18.8%කින් වර්ධනය වී රුපියල් ට්‍රිලියන 1.81ක් දක්වා ඉහළ ගොස් ඇත. එසේම, නිවාස, හෝටල් සහ වාණිජ ගොඩනැගිලි සඳහා ලැබුණු විදේශීය සෘජු ආයෝජන 55%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 173ක් වාර්තා විය. ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය ද 9.7%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් බිලියන 1.02ක් දක්වා ඉහළ යාම මෙරට සංවර්ධන කටයුතු යළි සක්‍රීය වෙමින් පවතින බවට පැහැදිලි සාක්ෂියකි.
ආර්ථික විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වර්ධනය හුදෙක් පරිභෝජනය මත පමණක් නොව, ආයෝජන මත පදනම්ව වර්ධනය වීම ඉතා වැදගත් බවයි. වසර 2025දී පමණක් ඉදිකිරීම් ක්ෂේත්රය 9.2%ක වර්ධනයක් අත්කරගෙන ඇති අතර, සිමෙන්ති පරිභෝජනය 16%කින් වර්ධනය වී මෙට්‍රික් ටොන් මිලියන 5.29ක් දක්වා ඉහළ ගොස් ඇත. දේශීය සිමෙන්ති අලෙවිය 25.7%කින් ඉහළ යාම ද මෙහි විශේෂත්වයකි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටස යළි ආරම්භ කිරීම, කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, රජයේ නිවාස වැඩසටහන් සහ කොළඹ වරාය නගරය ආශ්රිත ආයෝජන මෙම ක්ෂේත්රයේ ප්‍රගතියට ඉමහත් පිටුවහලක් වී ඇත. පහත් පොලී අනුපාත සහ ව්‍යාපාරික විශ්වාසය යළි ගොඩනැගීම නිසා ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටවූ ව්‍යාපෘති රැසක් මේ වන විට නැවත ආරම්භ කර ඇත.
















