ඉරානය සහ අමෙරිකාව අතර පවතින උණුසුම් වාතාවරණය තවදුරටත් උග්රවෙමින්, පසුගිය දින කිහිපය තුළ දකුණු ඉරානයේ ස්ථාන කිහිපයකට අමෙරිකාව විසින් එල්ල කරන ලද අඛණ්ඩ ගුවන් ප්‍රහාර මාලාවක් හේතුවෙන් සිවිල් වැසියන් 30කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රජයේ ප්‍රකාශිකා ෆාතිමේ මොහජෙරානි මහත්මිය තහවුරු කරයි.
හර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් දෙරට අතර උද්ගතව ඇති ගැටුම්කාරී තත්ත්වය පසුගිය සතියේ සිට වඩාත් දරුණු අතට හැරී තිබේ. අමෙරිකාව විසින් පනවන ලද නව නාවික අවහිරතා සහ ඉරාන ඉලක්ක වෙත එල්ල කෙරෙන ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානය තුළ විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත්, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාර මාලාවත් සමඟම ඉරානය අනතුරු අඟවා ඇත්තේ, අමෙරිකාව පනවා ඇති නාවික අවහිරතා නොනැවතී පවතින්නේ නම්, සමස්ත කලාපයෙන්ම බලශක්ති අපනයන සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට තමන් පසුබට නොවන බවයි. මේ අතර, අමෙරිකානු පාර්ශ්වය පවසන්නේ කලාපයේ වෙළඳ නැව් මාර්ගවල ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවයි.
කලාපය තුළ පවතින මෙම ගැටුම්කාරී තත්ත්වය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති අතර, තවදුරටත් ප්‍රහාර හුවමාරු වීමෙන් කලාපීය ස්ථාවරත්වයට බරපතල තර්ජනයක් එල්ල විය හැකි බව විදෙස් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
















