වියට්නාමයේ “න්ගුයෙන් ටැට් තන්හ්” (Nguyen Tat Thanh) විශ්වවිද්‍යාලයේ පැවැත්වුණු උපාධි ප්රදානෝත්සවයකදී සිය ආදරණීය මවට උපහාර දක්වමින් ශිෂ්‍යයෙකු සිදු කළ ක්‍රියාවක් ලොව පුරා දැඩි කතාබහකට ලක්ව තිබේ. ඖෂධවේදය (Pharmacy) පිළිබඳ ඉහළම සාමාර්ථයක් සහිතව උපාධිය ලබාගත් “ෆෑන් ට්‍රී ඩුන්ග්” (Phan Tri Dung) නමැති ශිෂ්‍යයා, ඇවිද ගැනීමට නොහැකිව දැඩි සේ ගිලන්ව සිටි තම මවව වඩාගෙන උපාධි වේදිකාව වෙත පැමිණි ආකාරය බොහෝ දෙනෙකු සංවේදී කිරීමට සමත් විය.
මෙම ජයග්‍රහණය පිටුපස ඇත්තේ අතිශය දුෂ්කර සහ වේදනාකාරී පසුබිමකි. සිය බිරිඳ සහ පුතා වෙනුවෙන් අපමණ කැපකිරීම් කළ ඩුන්ග්ගේ පියා, ඔහුගේ අවසන් නිබන්ධනය භාරදීමට මාසයකට පෙර මියගියේය. පියාගේ වියෝවෙන් පසු සිය අධ්‍යාපන කටයුතු, මවගේ රෝහල් ගමන් මෙන්ම පවුලේ සියලු වගකීම් තනිවම කරට ගත් ඩුන්ග්, නොසැලී තම ඉලක්කය සපුරා ගත්තේය.
මහලු වියේදී හෝ දෙමව්පියන්ව මහලු නිවාසවලට ගෙන ගොස් දමන වත්මන් ලෝකයක, තම මවගේ කැපකිරීම් සිහිපත් කරමින් ඇයට මෙලෙස ගෞරව දැක්වූ ඩුන්ග්ගේ ක්‍රියාව සැබවින්ම මුළු මහත් සමාජයටම කදිම ආදර්ශයකි.














