ගෝලීය වශයෙන් බොරතෙල් මිල ඉහළ යාමේ (Oil Price Shocks) බලපෑමෙන් ආරක්ෂා වීම සඳහා චීනය විසින් ඉතා වැදගත් උපායමාර්ගයක් අනුගමනය කරමින් සිටී. ඒ අනුව, එරට තුළ ඉලෙක්ට්‍රික් (විදුලි) ටැක්සි භාවිතය සීඝ්රයෙන් ඉහළ නැංවීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.
පසුගිය පෙබරවාරි අග භාගයේදී ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් සහ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ ගියද, චීනයේ නගරවල ටැක්සි සහ රයිඩ්ෂෙයාරිං (Ridesharing) සේවා භාවිතය කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. රජයේ දත්තවලට අනුව, පසුගිය මැයි මාසයේදී පමණක් චීන වැසියන් මෙවැනි කුලී රථ සේවා මඟින් සිදු කර ඇති සංචාර සංඛ්‍යාව බිලියන 3.05 කි. මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 6%ක වර්ධනයකි.
චීනයේ ප්‍රවාහන ක්ෂේත්රයේ පවතින සුවිශේෂී තත්ත්වයක් හේතුවෙන්, පෙට්‍රල් මිල ඉහළ ගියද ටැක්සි ගාස්තු පහළ යමින් පැවතීම විශේෂත්වයකි. ආර්ථික මන්දගාමීත්වය හේතුවෙන් රැකියා සොයන නව රියදුරන් විශාල පිරිසක් මෙම ක්ෂේත්රයට යොමුවීම සහ අඩු මිලට ලබාගත හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථ බහුල වීම ඊට ප්‍රධාන හේතුව වී ඇත. මෙම වාසිදායක තත්ත්වය හමුවේ, ඉහළ පෙට්‍රල් වියදම මඟහරවා ගැනීමට අපේක්ෂා කරන සාමාන්‍ය මගීන් වැඩි වශයෙන් ඉලෙක්ට්‍රික් ටැක්සි භාවිතයට පෙළඹී සිටිති.
















