බලශක්ති අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත්වල ක්‍රියාත්මක දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති (HRES) ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කළ ජනාධිපතිවරයා, එම දූපත් හරිත බලශක්ති දූපත් ලෙස සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ආර්ථික අර්බුදය හමුවේ අතරමග නතර වූ ජයිකා (JICA) ආධාර ලබන බලශක්ති ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
කෙරවලපිටිය – කොළඹ වරාය භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය, සාම්පූර්-කප්පල්තුරෙයි සහ නව හබරණ-කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති, පාදුක්ක 220kV ජාල උපපොළ (GSS) STATCOM ස්ථාපනය සහ වහල මත සවිකරන සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙහිදී විමසා බැලුණි.
කොලොන්නාව සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණවල නව ටැංකි ඉදිකිරීම් සහ ඉන්ධන පහසුකම් පුළුල් කිරීමේ ව්‍යාපෘති 14ක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ ජනාධිපතිවරයා, එම සියලු ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් කර ජනතාවට ප්‍රතිලාභ ලබා දීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ජනාධිපති ආර්ථික උපදේශකවරුන් පිරිසක් සහභාගී වූහ.
















