රාජ්‍ය ආයතන යළි කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි. මහනුවරදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එක් එක් කාලවල පැවැති අවශ්‍යතා මත ආරම්භ කරන ලද ඇතැම් ආයතන, එම අවශ්‍යතා ඉටු වූ පසුත් පවත්වාගෙන යාම රටට විශාල බරක් වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව, රාජ්‍ය ආයතන නැවත කළමනාකරණය කිරීමේ පියවරක් ලෙස, යල් පැන ගිය සහ රටට බරක් වූ ආයතන වසා දැමීමටත්, තවත් ආයතන ඒකාබද්ධ කර පවත්වාගෙන යාමටත් තීරණය කර ඇත. කෙසේ වෙතත්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වැනි රටට වැඩදායී ආයතන අඛණ්ඩව පවත්වාගෙන යන බවද ඔහු අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වත්මන් රජය යටතේ රජයේ සේවකයින්ගේ අවම වැටුප රු. 24,250 සිට රු. 40,000 දක්වා ඉහළ නංවා ඇති බවත්, රාජ්‍ය සේවයේ පවතින අත්‍යවශ්‍ය සේවා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදුකරමින් පවතින බවත් පැවසීය. සියලු දෙනා ආර්ථික ක්‍රියාවලියට දායක කර ගනිමින් ශ්‍රමයට සරිලන වටිනාකමක් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














