ඉන්දියාව සහ ජපානය අතර 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය ජපානයේ ටෝකියෝ නුවරදී සාර්ථකව නිමාවට පත් විය. ඉන්දීය ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං සහ ජපානයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආරක්ෂක උප ඇමැති කනෝ කෝජි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡා වටයේදී, දෙරටේ විශේෂ උපායමාර්ගික සහ ගෝලීය හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළහ.
මෙම සංවාදයේදී හමුදාමය හුවමාරු, සමුද්‍රීය සහයෝගීතාව, ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාස මෙන්ම ආරක්ෂක උපකරණ සහ තාක්ෂණික සහයෝගීතාව ඇතුළු ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතාවල සමස්ත පරාසයම දීර්ඝ ලෙස සමාලෝචනය කෙරිණි. නිදහස්, විවෘත සහ නීතිගරුක ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන තම කැපවීම නැවත අවධාරණය කළ දෙරටේ නියෝජිතයින්, කලාපීය සහ ගෝලීය ආරක්ෂක ගැටලුවලදී සමීපව කටයුතු කිරීමට එකඟ වූහ.
මෙම නිල සංවාදයට සමගාමීව ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා ජපන් ආරක්ෂක ඇමැති ෂින්ජිරෝ කොයිසුමි හමුවූ අතර, එහිදී ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං විසින් ජපන් ආරක්ෂක ඇමැතිවරයා වෙත ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන ලෙස සිදුකළ ආරාධනය නිල වශයෙන් භාර දෙන ලදී. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ‘2+2’ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා ඇතුළු ඉදිරි රාජ්‍ය තාන්ත්‍රික හුවමාරු පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.














