ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හෙට (16) සිට දිවයිනේ තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 63ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසයි. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙතෙක් අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 23ට අමතරව අලුතින් තවත් කොට්ඨාශ 40ක් හඳුනාගැනීමත් සමඟ, සමස්ත ඩෙංගු අවදානම් කොට්ඨාශ සංඛ්‍යාව 63ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම සියලු කොට්ඨාශ ආවරණය වන පරිදි නිවාස සහ ආයතන පරීක්ෂා කිරීම සඳහා එක් කොට්ඨාශයකට කණ්ඩායම් 10 බැගින් යොදවා පුළුල් මෙහෙයුමක් දියත් කිරීමට නියමිතය.
තම ආයතන හෝ පරිශ්‍රයන් ඩෙංගු මදුරුවන් බෝ නොවන අයුරින් පවත්වාගෙන යාම අදාළ බලධාරීන්ගේ වගකීමක් බව පෙන්වා දුන් අතිරේක ලේකම්වරයා, නිසි ලෙස ක්‍රියා නොකරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව අනතුරු ඇඟවීය. මීට අමතරව, රාජ්‍ය අංශය, යුද හමුදාව, මහජන සංවිධාන සහ තරුණ ප්‍රජාවගේ සහයෝගය ඇතිව පොදු ස්ථානවල ශ්‍රමදාන වැඩසටහන් ද සංවිධානය කෙරේ.














