ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පියෙකු, මවක් සහ ඔවුන්ගේ හය හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මධ්‍යම ගාසා තීරයේ දේර් අල්-බලා (Deir Al-Balah) ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එහිදී එම පවුලේ තෙහැවිරිදි පුත්‍රයා තුවාල ලබා දිවි ගලවාගෙන තිබේ. ප්‍රහාරය එල්ල කළේ හමාස් සටන්කාමියෙකු ඉලක්ක කර බව ඊශ්‍රායල හමුදාව පවසයි.
ඊට අමතරව, ගාසා නගරයේ ෂෙයික් රද්වාන් (Sheikh Radwan) ප්‍රදේශයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් තවත් අයෙකු මියගොස් ඇත. පසුගිය ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක වූ සටන් විරාමයෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් සංඛ්‍යාව 1,100 ඉක්මවා ගොස් ඇති අතර, එම කාලය තුළ ඊශ්‍රායල සොල්දාදුවන් සිව්දෙනෙකුද මියගොස් ඇත.
මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා කයිරෝ නුවරදී පැවැති සාකච්ඡා ද අසාර්ථක වී තිබේ. හමාස් සංවිධානය නිරායුධ කිරීම, ඊශ්‍රායල හමුදා ඉවත් වීම සහ ජාත්‍යන්තර ආරක්ෂක බලකායක් යෙදවීම මෙම සාම සැලැස්මේ අරමුණ වුවද, දෙපාර්ශවය අතර පවතින දැඩි අවිශ්වාසය හේතුවෙන් සාකච්ඡා මාස ගණනාවක් තිස්සේ ඇණහිට ඇත. ඊශ්‍රායලය සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරමින් ගාසා තීරයෙන් 60%කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් මේ වන විටත් තම පාලනයට නතු කරගෙන සිටින බව හමාස් සංවිධානය චෝදනා කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














