තායිලන්තයේ බැංකොක් නුවර රාත්‍රී සමාජශාලාවක හටගත් දරුණු ගින්නකින් මියගිය සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට පොලිස් රෝහල අද (15) නිවේදනය කළේය. තුවාල ලැබූ තවත් දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියයාමත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගියේය.
පසුගිය ඉරිදා මධ්‍යම රාත්‍රියට ආසන්නව බැංකොක් නුවර චතුචක් ප්‍රදේශයේ පිහිටි ‘රොං බියර් නා ලාට් ප්රාඕ’ නම් මෙම සමාජශාලාවේ හදිසියේම ගින්නක් හටගෙන තිබිණි. සිද්ධිය දුටුවන් පවසන්නේ, ගින්න හටගැනීමට පෙර විශාල පිපිරීමක් සිදුවූ බවත්, ඉතා කෙටි කාලයකදී ගින්න සහ දුමාරය මුළු ශාලාවම ආක්‍රමණය කළ බවත්ය.
දැනට තුවාල ලැබූ පුද්ගලයින් 30 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉන් 15 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි. 44 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
මූලික විමර්ශනවලට අනුව මෙම ගින්න සිවිලිමේ සවි කර තිබූ වායු සමීකරණ යන්ත්‍රයක විදුලි කාන්දුවක් හේතුවෙන් හටගන්නට ඇතැයි බලධාරීන් සැක පළ කරයි. සමාජශාලාවේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් නොසැලකිලිමත්කමක් සිදුවී ඇද්ද සහ හදිසි පිටවීමේ දොරටු අවහිර වී තිබුණේද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගින්න හටගත් ස්ථානයේ තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ආවරණය සඳහා යොදා තිබූ දහනය විය හැකි ද්‍රව්‍ය හේතුවෙන් ගින්න ඉතා වේගයෙන් පැතිර ගිය බව විශේෂඥයින් පවසයි. පසුගිය කාලයේ තායිලන්තයේ සමාජශාලා සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් නිතරම අවධානය යොමු කළ දහනය විය හැකි අලංකාර ද්‍රව්‍ය භාවිතය සහ හදිසි පිටවීමේ දොරටු ප්‍රශ්න නැවතත් මතුව තිබේ. මෙම සිදුවීමෙන් පසු, රට පුරා ඇති විනෝදාස්වාද මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට දැඩි පරීක්ෂාවන් සිදු කිරීමට තායිලන්ත රජය තීරණය කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















