යුක්රේනයේ ප්‍රධානතම වරාය නගරයක් වන ඔඩෙස්සා වෙත රුසියාව විසින් එල්ල කරන ලද දැවැන්ත මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. සත් මහල් නේවාසික ගොඩනැගිල්ලකට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, පසුගිය දින පහක කාලය පුරා ඔඩෙස්සා කලාපයේ සිවිල්, කාර්මික සහ වරාය යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියානු ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වෙමින් පවතී.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ, යුක්රේන හමුදාව සඳහා භාණ්ඩ ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන වරාය පහසුකම් සහ නෞකා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කළ බවයි. ඔඩෙස්සා සහ චෝර්නොමෝර්ස්ක් වරායවලට මෙන්ම ඩිනිප්‍රෝ-බු වරායේ තිබූ නෞකා හතරකටද හානි සිදු කර ඇති බව රුසියාව පවසයි.
මෙයට ප්‍රතිචාර වශයෙන් යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරක බලකාය පවසන්නේ, පසුගිය රාත්‍රියේ කළු මුහුදේ ගමන් ගත් රුසියානු නෞකා 20කට ප්‍රහාර එල්ල කිරීමට තමන් සමත් වූ බවයි. එමෙන්ම, මේ මස තුළ අසෝව් මුහුදේදී රුසියානු නෞකා 116කට ප්‍රහාර එල්ල කර ඇති බව යුක්රේන අණදෙන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
යුක්රේනයේ මෙම ප්‍රහාර හේතුවෙන් රුසියාවට සිය ධාන්‍ය අපනයන මාර්ගවල ගමනාගමනය සීමා කිරීමට සිදුවී ඇති අතර, මෙම ප්‍රහාර “ත්‍රස්තවාදී ක්‍රියා” ලෙස රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හඳුන්වා දී ඇත. යුද්ධය හේතුවෙන් ආර්ථිකයට අත්‍යවශ්‍ය වන යුක්රේනයේ මෙම වරාය මධ්‍යස්ථාන අඛණ්ඩව ප්‍රහාරවලට ලක්වීමත්, කළු මුහුදේ වෙළෙඳ මාර්ග පාලනය සඳහා දෙපාර්ශවයම උත්සාහ දැරීමත් නිසා කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















