කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාණන්ගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ නියෝජ්‍ය කතානායක රිස්ව් සාලි මහතා අද (15) කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය වෙත පැමිණියහ.
එහිදී ශ්‍රී ලංකාවේ කටාර් රාජ්‍ය තානාපති අතිගරු ජසීම් බින් ජාබිර් ජසීම් අල්-සුරූර් මහතා හමු වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය කතානායකවරයා, කටාර්හි වත්මන් එමීර් අතිගරු ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි උතුමාණන් වෙතත්, කටාර් රාජකීය පවුල සහ එරට ජනතාව වෙතත් සිය ශෝකය පිරිනමන ලදී.
කටාර් රාජ්‍යයේ නූතන පුනරුදයේ නියමුවාණන් වූ හිටපු එමීර්වරයාණන් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ සමීප මිත්‍රත්වය සහ සහෝදරත්වය මෙහිදී කෘතඥපූර්වකව සිහිපත් කෙරිණි. අභාවප්‍රාප්ත එමීර්වරයාණන්ට උත්කෘෂ්ටතම ස්වර්ග රාජ්‍යය ප්‍රාර්ථනා කළ නියෝජ්‍ය අමාත්‍යවරු දෙපළ, කටාර් රාජ්‍යය මුහුණ දෙන මෙම දුෂ්කර මොහොතේ ශ්‍රී ලංකාව සැමවිටම ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව අවධාරණය කළහ.
මෙම ශෝකී අවස්ථාව සනිටුහන් කරමින් නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා සහ නියෝජ්‍ය කතානායක රිස්ව් සාලි මහතා විසින් තානාපති කාර්යාලයේ තබා ඇති විශේෂ ශෝක සටහන් පොතෙහි ද අත්සන් තබන ලදී.
















