උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ සිට මහනුවර සහ පේරාදෙණියේ සිට බදුල්ල දක්වා දුම්රිය ගමනාගමනය ලබන වසරේ මුල් මාස කිහිපය තුළ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව දුම්රිය අධිකාරි (ඉහළ දිස්ත්‍රික්කය) ඉංජිනේරු ධනුෂ්ක දිසානායක මහතා පවසයි.
රඹුක්කන සිට මහනුවර දක්වා හානි වූ ස්ථාන 97න් 92ක් දැනටමත් යථාවත් කර ඇති අතර ඉතිරි ස්ථාන 5හි වැඩ කටයුතු මේ වන විට සිදු කෙරේ. පේරාදෙණිය සිට ගම්පොළ දක්වා මාර්ගය යථාවත් කර අවසන් වන අතර, ගම්පොළ සිට නාවලපිටිය දක්වා කොටසේ සැලසුම් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) සමඟ එක්ව සකස් කෙරේ. නාවලපිටිය හා කොටගල අතර වැඩ නිම කිරීමෙන් පසු මේ වන විට සීමිත දුම්රිය ගමන් වාර ප්‍රමාණයක් ක්‍රියාත්මක වේ.
නානුඔය සිට බදුල්ල දක්වා දුම්රිය ධාවනය දැනටමත් සිදුවන අතර, නානුඔය හා අඹේවෙල අතර හානි වූ ස්ථාන 14න් 13ක ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇත. කොටගල හා නානුඔය අතර හානි වූ ස්ථාන 6න් 4ක වැඩ නිම කර ඇති අතර, ඉතිරි ස්ථාන 2 සම්බන්ධයෙන් NBRO උපදෙස් මත ඉදිකිරීම් සැලසුම් කර ඇත. මෙම ස්ථානවලින් එකක ඉදිකිරීම් සඳහා පෞද්ගලික ආයතනයකට කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ.
මේ අනුව, නානුඔය සිට පේරාදෙණිය දක්වා ඉතිරිව ඇති කොටසේ වැඩ කටයුතු නිම කර, මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු පෙර පරිදිම සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වේ.














