ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා ප්ලාස්ටික් බෑග් සඳහා අය කරන ගාස්තුව තවදුරටත් දැනෙන ගණනකින් වැඩි කරන ලෙසත්, ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කරන ලෙසත් ශ්‍රී ලංකා පරිසර ක්‍රියාකාරී ජාලය (SLEAN) මධ්‍යම පරිසර අධිකාරියෙන් (CEA) ඉල්ලා සිටී.
මධ්‍යම පරිසර අධිකාරිය ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට ගෙන ඇති පියවර අගය කරන අතරම, ඇතැම් සුපිරි වෙළෙඳසල්, සිල්ලර වෙළෙඳසල් සහ කුඩා ව්‍යාපාර තවමත් ප්ලාස්ටික් බෑග් නොමිලේ ලබාදීම හෝ අවම ගාස්තුවක් අය කිරීම හේතුවෙන් පවතින ප්‍රතිපත්තියේ කාර්යක්ෂමතාව අඩාල වී ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
මෙම ගැටලුව විසඳීම සඳහා SLEAN විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව ප්ලාස්ටික් බෑග් සඳහා වන ගාස්තුව දැනෙන අගයකට ඉහළ දැමීම, ප්‍රතිපත්තියට අනුකූල නොවන ව්‍යාපාර හඳුනා ගැනීමට නිරන්තර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු වැඩි දියුණු කිරීම සහ නීති උල්ලංඝනය කරන ව්‍යාපාරවලට එරෙහිව නීතිමය පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, ප්ලාස්ටික් බෑග් ගාස්තු ප්‍රතිපත්තියේ පරිසර හිතකාමී ප්‍රතිලාභ පිළිබඳ මහජන දැනුවත් කිරීම ඉහළ නැංවීමටත්, නැවත භාවිත කළ හැකි බෑග් භාවිතය දිරිගැන්වීමටත්, රෙදි හෝ ජෛව විනාශයට ලක්වන බෑග් වැනි විකල්ප ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කළ යුතු බව ඔවුන් සඳහන් කරයි.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසා ශ්‍රී ලංකාවේ ගංගා, වෙරළ තීර, වනජීවීන් සහ මහජන සෞඛ්‍යයට තර්ජනයක් එල්ල වී ඇති බවත්, ප්ලාස්ටික් බෑග් ගාස්තු ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීමට නම් එය සාධාරණව සහ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බවත් SLEAN අවධාරණය කරයි. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතන, ව්‍යාපාර සහ ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව එම සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක රකුලන් කන්දසාමි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.














