වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකික දඹදිව වන්දනාකරුවන් සඳහා ලබා දී තිබූ මසක සහන වීසා පහසුකම් මේ වන විට ඉන්දීය රජය විසින් අත්හිටුවීම හේතුවෙන් වන්දනාකරුවන් මෙන්ම විදේශ බෞද්ධ චාරිකා සංවිධායකවරුන්ද දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර හල්ලොලුව මහතා පෙන්වා දෙන්නේ, මාස තුන හතරක කාලයක සිට මෙම සහන වීසා ක්‍රමය නතර කර ඇති බවයි. මීට පෙර බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි සංවිධායකයන් හරහා මුළු කණ්ඩායමටම පහසුවෙන් වීසා ලබා ගැනීමේ අවස්ථාව පැවතියද, මේ වන විට වන්දනාකරුවන් පෞද්ගලිකව කොළඹට පැමිණ වීසා ලබාගත යුතු තත්ත්වයක් උදාවී ඇත.
මෙම වෙනස හේතුවෙන් වීසා ගාස්තුව රුපියල් 3,875 සිට රුපියල් 9,850 දක්වා ඉහළ ගොස් තිබේ. දිනෙන් දින ඉහළ යන වියදම් සහ මෙම වීසා ගැටලු නිසා වන්දනා ගමන් සැලසුම් කිරීම අතහැර දැමීමට බොහෝ දෙනෙකු පෙළඹීමෙන්, චාරිකා සංවිධායක ආයතනවල රැකියා අවස්ථා පවා අර්බුදයට ලක්ව ඇතැයි හෙතෙම සඳහන් කළේය.
ඉන්දීය ජාතිකයන් සඳහා නොමිලේ වීසා පහසුකම් ලබා දෙන පසුබිමක, මෙරට වන්දනාකරුවන් සඳහා පවතින මෙම සහන වීසා පහසුකම් යළි ලබා දීමට ශ්‍රී ලංකා රජය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් විය යුතු බව ඔවුන් අවධාරණය කර සිටිති.
















