රජයේ සෞඛ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සහ රෝහල් පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර (PHMA) නිලධාරීන් 228 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීම අද (16) පෙරවරු 10.30 ට කොළඹ ශ්‍රී ලංකා පදනම ආයතනයේදී සිදු කිරීමට නියමිතය. මෙම උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සැලසුම් සහගත වැඩපිළිවෙළ යටතේ ජූලි 18 වන දින සෞඛ්‍ය කාර්ය සහායක (SKS) 600 දෙනෙකුට සහ අගෝස්තු 01 වන දින තවත් 762 දෙනෙකුට පත්වීම් ලබා දීමට කටයුතු යොදා ඇත. මීට අමතරව, ඉදිරි සති දෙක තුළ ඩෙංගු මර්දන සහායක 295ක් සහ සුළු සේවා පාලක (Overseers) 121ක් සඳහා ද පත්වීම් ලබා දීමට නියමිතය.
මීට පෙර, බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකුට පසුගිය 04 වන දින පත්වීම් ලබා දීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම මෙම පත්වීම් ලබා දීමේ ප්‍රධාන අරමුණයි.
















