පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් අගෝස්තු මස මැද භාගය දක්වා ඩෙංගු රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ දියත් කරන මර්දන වැඩසටහන්වලට උපරිම සහාය ලබා දෙන ලෙසත්, තම නිවෙස්, පාසල් සහ සේවා ස්ථාන අවට පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන ලෙස පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්නා ලෙසත් අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයින පුරා පවතින මෙම ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික් 11ක් ඉලක්ක කර ගනිමින් අද (16) සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ, ඉදිරි සති දෙකක කාලයක් පුරා මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. ඩෙංගු ව්‍යාප්තිය බහුලව වාර්තා වන කලාප හඳුනාගෙන, මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
















