ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරනු ලබන නිල තරගාවලිහී, පවතින විවිධ මූල්‍ය හා පරිපාලනමය අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රීඩා ආශ්‍රිත අක්‍රමිකතා වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. මෙම පැමිණිල්ලට අනුව, 2019 අංක 24 දරන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ 5 වන වගන්තිය ප්‍රකාරව මෙම විශේෂ විමර්ශනය ආරම්භ කර ඇති බව එම අංශය සනාථ කරයි. මතු වී ඇති චෝදනා සම්බන්ධයෙන් වහාම කරුණු පැහැදිලි කරමින් වාර්තාවක් සපයන ලෙස විශේෂ විමර්ශන ඒකකය බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් වෙත ලිඛිතව දැනුම් දී ඇත.
තරගාවලියකට ඇතුල්වීම සදහා රු.15000ක පමණ මුදලක් ආසන්න වශයෙන් ක්‍රීඩකයෙකු වෙත දැරීමට සිදුවේ. එවන් තරගාවලියක අවසන් ජයග්‍රහකයන් වෙත සාමාන්‍ය වශයෙන් එක් ක්‍රීඩකයෙකු වෙත උපරිමයෙන් රු. 30000 – 60000 මුදලක් ලැබේ. ප්‍රවාහන ගාස්තු, ආහාර, සපත්තු, සහ ඇදුම් පැළදුම් සහ ඇතුල්වීමේ ගාස්තු ද ගෙන බලන විට මෙය සොච්චම් මුදලක් හෙයින් ක්‍රීඩකයන්ගේ ඇතුල්වීමේ ගාස්තුව 800%කින් වැඩි වී ඇති විටක අවම වශයෙන් ඒ හා සමානවත් ත්‍යාග මුදල වැඩි කර දෙන ලෙස මෙම පැමිණිල්ල මගින් ඉල්ලා සිටියි.
විමර්ශන අංශ වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව, 2023 වසරේදී රුපියල් 1,500ක්ව පැවති තරගාවලි ප්‍රවේශ ගාස්තුව කිසිදු විධායක කමිටු අනුමැතියකින් තොරව 2026 වසර වන විට කේවල තරග සඳහා රුපියල් 7,000ක් සහ යුගල තරග සඳහා රුපියල් 8,500ක් දක්වා ඉහළ දමා තිබේ. එය දකුණු පළාත් සංගමය සහ වෙළද සංගමය විසින් පිළිගෙන තිබේ.
මේ ආකාරයට එම ගාස්තු දැමුවද සහ නවාතැන් මෙන්ම ගමන් වියදම් හේතුවෙන් වත්මන් ආර්ථික වටපිටාව තුළ දේශීය ක්‍රීඩකයන්ට තරගාවලියකට සහභාගී වීම අති දුෂ්කර වී තිබේ. එක් තරගයක් සදහා ක්‍රීඩකයෙකු හට රු. 40,000කට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. තවද, මෙලෙස ක්‍රීඩකයන්ගෙන් එකතු කරනු ලබන අරමුදල් ඔවුන්ගේ ක්‍රීඩා අභිවෘද්ධිය සහ පහසුකම් සංවර්ධනය සඳහා යොදවනු වෙනුවට, සංගමයේ ඇතැම් නිලධාරීන්ගේ පෞද්ගලික සුබසාධන කටයුතු සඳහා අවභාවිත කර ඇති බවට ද බරපතල චෝදනා එල්ල වී ඇත.
තරගාවලි සඳහා නිසි අනුග්‍රාහකයන් සම්බන්ධ කර නොගෙන මෙන්ම ත්‍යාග මුදල් ප්‍රමාණයන් පිළිබඳව ක්‍රීඩකයන්ට නිසි දැනුම්දීමකින් තොරව තරග පැවැත්වීම ද මෙහිදී දැඩි විවේචනයට ලක්ව තිබේ. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මෙම විශේෂ විමර්ශන ඒකකය විසින් 2019 අංක 24 දරන පනතේ 24 (අ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයෙන් වහාම වාර්තාවක් කැඳවා ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ මෙම මූල්‍ය අක්‍රමිකතා විමර්ශනයේ ප්‍රගතිය සහ ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ අවධානය වහා යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.
















