මධ්‍යම පළාත් සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති හතරක ඉදිකිරීම් ඉදිරි දෙවසර තුළ සම්පූර්ණයෙන් අවසන් කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා (15) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ක්ෂේත්‍ර පරීක්ෂාවක නිරත විය.
ගැටඹේ හන්දිය ගුවන් පාලම රුපියල් බිලියන 14ක වියදමින් ඉදිකෙරෙන මෙම පාලම මගින් පේරාදෙණිය – මහනුවර ඇතුළු ප්‍රධාන මාර්ගවල පවතින රථවාහන තදබදයට විසඳුම් ලැබෙනු ඇත. 2025 පෙබරවාරි මාසයේදී නැවත ආරම්භ වූ මෙහි කටයුතු කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇත.
විලියම් ගොපල්ලව මාර්ගය රුපියල් මිලියන 675ක වියදමින් මෙම මාර්ගය මංතීරු හතරක් ලෙස පුළුල් කර සංවර්ධනය කෙරේ.
ලුවී පීරිස් මාර්ගය රුපියල් මිලියන 539ක වියදමින් ද්විත්ව මංතීරු සහ පදික මංතීරු සහිතව සංවර්ධනය කෙරේ. කඳුකර ප්‍රදේශයක් හරහා දිවෙන බැවින් මෙහිදී ‘සොයිල් නේලින්’ (Soil Nailing) ආරක්ෂිත ක්‍රමවේදය භාවිතා කෙරේ.
මහයියාව උමං මාර්ගය රුපියල් මිලියන 650ක වියදමින් ඉදිවන මීටර් 31.7ක් දිගැති මෙම උමං මාර්ගය මහනුවර – යාපනය (A-009) මාර්ගයට සහ උඩරට දුම්රිය මාර්ගයට පහසුකම් සලසයි.මෙම ව්‍යාපෘති පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරුන් සඳහන් කළේ, මහනුවර ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම් සුරකිමින්, රටේ සංවර්ධන සැලැස්මට අනුව මෙම කාර්යයන් සිදු කරන බවයි. මෙම අවස්ථාවට මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා ඇතුළු මහනගර සභා නියෝජිතයින්, ඉංජිනේරුවන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














