මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් විසින් යකඩ පොලු සහ දැව මුඟුරු යොදාගෙන තවත් සිසුන් පිරිසකට සිදුකළ පහරදීමකින් සිසුන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් පස්දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් මුලතිව් රෝහලට මාරු කර යවා ඇති අතර, අනෙක් තිදෙනා පුදුකුඩිඉරිප්පු රෝහලේ ප්‍රතිකාර ලබති. පහරදීමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූලි 21 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මුලතිව් මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පහරකෑමට ලක්වූ සිසුන්ගේ දෙමව්පියන් සහ ඥාතීන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමෙන් පසු පුදුකුඩිඉරිප්පු පොලිසිය පරීක්ෂණ ආරම්භ කළේය. පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පහරදීමට සම්බන්ධ තවත් සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බවත්, සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර අත්‍යවශ්‍ය බවත්ය. සිද්ධිය සම්බන්ධයෙන් මැදිහත් නොවී එය සමථයකට පත්වන තෙක් බලා සිටින ලෙස දෙමව්පියන්ට සහ ඥාතීන්ට උපදෙස් දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.














