බියගම මැතිවරණ කොට්ඨාශයේ යබරලුව ග්‍රාමයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ, තීන්ත කඩේ අසළ අබලන්ව පැවති පාලම නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතිය අද දින ආරම්භ කෙරිණි. වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව පැවැත්වුණු අතර, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සපුමල් රංවල මහතා ඇතුළු ප්‍රාදේශීය නියෝජිතයින් සහ ගම්වාසීන් විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
වසර ගණනාවක් පුරා අනාරක්ෂිතව පැවති මෙම පාලම පසුගිය ගංවතුර ආපදාව හේතුවෙන් වඩාත් අවදානම් තත්ත්වයට පත් විය. යබරලුව ග්‍රාමයේ වෙසෙන පවුල් 300කට අධික සංඛ්‍යාවකට මල්වාන – කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසීමට ඇති එකම මාර්ගය මෙම පාලම වීම නිසා ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව සිටියහ. අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ මැදිහත්වීම මත 2026 වසරේ පළාත් සභා ප්‍රතිපාදන යටතේ මේ සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරිණි.
සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා පාලම ඉදිකිරීමට රුපියල් 8,000,000ක් සහ ඊට සම්බන්ධ මාර්ගය සැකසීම සඳහා රුපියල් 2,400,000ක් ලෙස මුළුමනින්ම රුපියල් මිලියන 10.4ක මුදලක් වැය කිරීමට නියමිතය.
ආරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ, බියගම මැතිවරණ කොට්ඨාශය පුරා සෑම ග්‍රාමසේවා වසමකම මෙවැනි යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බවයි. ජනතාවගෙන් අය කරන බදු මුදල් යොදවා මෙලෙස ජනතා සේවාවන් ඉටු කිරීමට රජය කැපවී සිටින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














